කතෝලික ආගමික ත්‍රස්තවාදය දැන් පාසැල් පෙළ පොතේ

Click here for PDF version

මේ හෙළිදරව්ව කරන  පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ චතු සත්‍ය අවබෝධ කරත්වා! ජාතිය වෙනුවෙන් දිගටම අප දැනුවත් කරත්වා!

ආගම් යනු මිනිසුන්ගේ සිත් සතන් නිවා සනසන ප්‍රබලම සමාජ ඒකකයකි. නමුත් අද ලෝකය පුරා ප්‍රබලව ව්‍යාප්ත වී තිබෙන බොහෝ ආගම් තුළ එම නිවී සැනසීම නොතිබෙන බව අමුතු රහසක් ද නොව බොහෝ ආගම් අද වනවිට පාදක වි තිබෙන්නෙ මිනිසුන් තලා පෙලන , විනාශකර දමන , කාන්තා නිදහස දැඩි ලෙස අහිමි කර තිබෙන ලෝකයම ගිනි ජාලාවක් බවට පත් කරන අමු සොහොනක් කිරීමටය. ලෝක ඉතිහාසයම පිරික්සා බැලීමෙන් සිය දහස් වාරයක් යළි යළිත් ඔප්පු වෙන කාරණාවක් නම් සෑම අරගලයක් පිටුපසම දැවැන්ත ඡායාව ආගම බවයි. අදටත් ලෝකයේ බලවත් යැයි කියා ගන්නා රාජ්‍යයන් නොනිමි අරගලයක නිමග්නව සිටින්නේ ආගම්වාදයන් තුළ උපරිම අන්තවාදයට පිවිසීමෙනි. මෙවන් ලෝක් පසුබිමක් තුළ ලංකාවේ අපටද ඒ මහා ඕගයන්ගේ තාඩන පීඩන වලට වසර සිය ගණනක් තිස්සේ ලක් වන්නට සිදුවී ඇත. නමුත් අරුමයට කරුණක් ඇත. ලෝකයේ වෙනත් රාජ්‍යයක් මේ තරම් දුරට එවන් තාඩන පීඩන වලට ලක්වුවා නම් ඒ හැමකක්ම ඒ මහා ඕගයන්ගේ සැඩ පහරට හසුව අගක් මුලක් සොයාගත නොහැකි ලෙස විනාශ වනු නොඅනුමාන වීමයි. ඒ සදහා ඕනෑ තරම් නිදසුන් පෙරදාට වඩා අද විද්‍යාමාන වී ඇත. ලෝක ඉතිහාසයේ කිසිදු තැනක බුදු දහම ව්‍යාප්තිය වෙනුවෙන් ලේ සෙලවීමක් සිදු කළ බවට සඳහම් වී නොමැත. නමුත් අන්තවාදයන්ගේ ගොදුරු බවට පත්වු ඔනෑතරම් බෞද්ධයින් නම් ඇත.

නිර්මල බෞද්ධ දර්ශනය මේ මිහිතලය මත ජීවමාන කිරීමේ පෙරගමන් කරුවන් බවට එදත් අදත් පත්ව ඇත්තේ සිංහල බෞද්ධයන්ය. එය අතීතය මෙන්ම වර්තමානය තුළින්ද යළි යළිත් පසක් කරන සත්‍යතාවයකි. වසර සිය ගණනක් තිස්සේ විදේශ ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට හසු වු සිංහලයා සිය දෑස් ඉදිරිපිටම තම දරුවන් මරා දමද්දී බෞද්ධකම පාවා නොදී සිටි උදාර ජාතියකි. නමුත් ඉතා සටකපටි වූ පරදේශක්කාරයින් තමන්ගේ අනන්‍යතාවයන් ඉදිරියට පවත්වාගෙන යමින් තමන් පැතු දෑ ඉටුකරවාත හැකි අන්දමේ කලු සුද්දන් ටිකක්ද කදිමට බෝ කරවා තබා යන්නට නොපසුබට විය. අද ඒ කලු සුද්දන් පරදේශක්කාරයින් කළාටත් වඩා හොඳින් එම කාර්යය සිදුකරමින් සිටීම මොන තරම් අභාග්‍යයක්ද ?

එම ඒජන්තවරුන් සිය කාර්යයයන් තම ක්ෂේත්‍රයන් තුළ හිඳිමින් හා ඉන් පරිබාහිරව හිඳිමින් අපූර්වට සිදු කරති. මෙහිදී එම සියලු කාර්යයන් පිළිබද අවධානය යොමු කිරීමට යත්න නොදරමි. ලොව මොනයම් බසකින් නිර්මාණය වුවද සාහිත්‍ය යනු සීමා මායිම් නොතකා මනුෂ්‍යත්වයේ උතුම් පරමාර්ථයන් වෙනුවෙන් පෙනී සිටින නිර්ව්‍යාජ කැඩපතකි. හුදෙක්ම මෙයින් සාහිත්‍ය ජාති , ආගම් , සංස්කෘතීන් වෙනුවෙන් පෙනී නොසිටින බවක් නොකියමි. මනුෂ්‍යත්වයේ සැබෑ මුහුණුවර පෙන්නුම් කරන ආධ්‍යාත්මය සංවර්ධනය කිරීමට ඉවහල් වන්නාවු ආගම හා කලාව යන සංවේදනාත්මක අංගයන් දෙකම ඉතා පහත් ලෙස යොදා ගමිනින් යමෙක් උපන්නාට මේ ලොව වැනෙනවා විනා යනාදියෙන් එය තමන්ගේ ආත්ම ලාභයන් උදෙසා අන්තවාදී ලෙස යොද වන්නේ නම් එවන් මිනිසුන්ගෙන් ආගමට හෝ සාහිත්‍යයට කවර නම් සෙතක් සිදු වන්නේද ?

එවන් අන්තවාදිනියකගේ ලේඛනයක් පිළිබදව මෙහි සටහන් තබන්නේ මේ ඛෙදවාචකයේ ආසන්නතම නිදසුන එය වන බැවිනි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට නියමිත 11 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි සාහිත්‍යය පෙළ පොතේ එන පුණ්‍යකාන්ති විජේනායක නැමැත්තියක් විසින් ලියන ලද “වඳුරෝ” නම් කෙටි කතාව සාහිත්‍ය නිර්මාණයකට වඩා ආගමික ත්‍රස්තවාදයෙන් පිරුණු ලියවිල්ලකි. පෑන අවියක් කරගෙන නිර්මාණ කරමින් තම මහා වගකීම රට දැය සමය උදෙසා ඉටුකළ උත්තුංග මානවයන් පිළිබදව මම දන්නෙමි. එම පෑනම උපයෝගි කර ගමිනින් මහා විනාශ කළ වුන් ගැනද මම අඩු වැඩි වශයෙන් අසා ඇත්තෙමි. දරුවන් යනු දැයේ ජීවනාලියයි. එවන් වූ දරුවන් උදෙසා හොඳම දේ දෙනවා යැයිද මම පවසමි. එය එසේ වියයුතුය. ළපටි නොමේරූ මල් කැකුළුවන් දරුවන් උදේසා හොඳම දේ දිය යුතු වන්නේ මේරු පසු රිසි සේ නම්වාගත් නොහැකි නිසාවෙනි. එනිසා දරුවන්ගේ මනස විකෘති වන අයුරින් යමෙක් සිය නිර්මාණ කරනයේ  යෙදෙන්නේ නම් එය මහා ද්‍රෝහීකමක් නොවන්නේද ?

මේ උත්සාහය තවත් සාහිත්‍ය නිර්මාණයකට රසාස්වාදයක් සැපයීමක් නොවන බව මුලින්ම සිහිකළ යුතුය. නැතහොත් ඇතමෙක් මෙය රසාස්වාදයක් ලෙස පමණක් ගෙන ඉවතලන්නට පිළිවන. “වඳුරෝ” කෙටිකටාව හුදෙක්ම බුදු දහම සම්බන්ධව වගේම ශාසන සම්ප්‍රදාය පිළිබඳව අන්තවාදීව ඉදිරිපත් කරන විවේචනයකි. කුඩා දරුවෙකු පැවිදි වී ගත කරන ජීවිතය ඉතා කටුක දුෂ්කර එකක් බවත් එය මහා අපායකට නොදෙවෙනි බවරත් සේයා මවමින් ශාසනයේ චිර පැවැත්මට අහියෝග කරන ඇය කතා සම්ප්‍රදායේ සත්‍ය හා කල්පිතය යොදාගෙන ඇත්තෙ හුදු කල්පිතයක් සඳහාම පමණක් වන බවට නම් මනාව පැහැදිළිය. කුඩා සාමණේර නමක් හා වඳුරු රංචුවක් වටා ගොඩ නැගී ඇති මේ කතා වස්තුවේ ආරම්භයේදීම “සිවුර ඔහුගේ නිදහසට බාධාවක් විය” යනුවෙන් දක්වා ඇත. මෙයින් පැවසීමට උත්සාහ දරා ඇත්තේ සිවුර දැරීමම නිදහස අහිමි වීමේ ප්‍රධාන කාරණයක් බවයි. නමුත් සම්බුද්ධ දේශනාව මැනවින් පිරික්සා බැලීමෙන් පැවැදි දිවියේ ඇති නිදහස් නිවහල් භාවය මොනවට පැහැදිලි කර ඇත. නිවන නම්වු පරමාර්ථ සාධනය උදෙසා පැවිදි දිවිය තරම් තෝතැන්නම් වෙනත් නොමැත. ව්‍යාජ මානව හිමිකම් පිළිබදව පුරසාරම් දොඩන ඇත්තන්ද පවසන්නේ මෙය මානව හිමිකම් කඩ වීමක් ලෙසයි. මෙම ලේඛිකාවද එම ව්‍යාජ මානව හිමිකම් සුරැකීමේ නියෝජිතවරියක් දැයි. අප නොදනිමු. පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙකුගේ ජිවිතයට සමාන වු පැවිදි දිවිය නිදහසක් නොමැති දිවියක් ලෙස අර්ථගැන්වීමට යත්න දැරීමෙන් නිදහස ලෙස ඔවුන් අර්ථ ගන්නවා ඇත්තේ මිනිසාගේ සිවාධීනත්වය හෑල්ලු කරමින් මිනිසා යනු නිකමෙක් ලෙස ඉදිරිපත් කරන නිර්මාණවාදීන්ගේ වහලුන් වීම වන්නට ඇත. අකාලයේ දන් නොවැළෑදීමේ ශික්ෂා පදය මෙහිදී අවඥාවට ලක්වන අයුරින් හා පැවිදි වුවහොත් කුසගින්නේ ඉන්නට ඉදුවන්නේය යනුවෙන් භීතියක් ඇතිවන අයුරින් ” එම කෑම ඔහු උදේ වරුවේ සිඟා කා එකතු කරගත් ආහාරයේ ඉතිරිය විය. එය ඔහුගේ දිනකට ලැබෙන එකම ආහාර වේල විය” ලෙස දක්වයි. කුඩා දරුවන් විකාලභෝජනය පිළිබද ශික්ෂා පදය දන්නවා වන්නට පිළිවනි. එසේ වුවත් ඇයට මෙහිදී හිතාමතා උලුප්පා දක්වන්නට උත්සාහ දරා ඇත්තේ පැවිදි දිවිය කායික පීඩාවක් බවටයි. තවදුරටත් කරුණු දක්වා ඇති ඇය. ” ඔහුට ලැබුණ මේ යම්තම් ප්‍රමාණවත් වු ආහාර වේලෙන් ඔහු පාන් පෙති දෙකක් හා කෙසෙල් ගෙඩියක් ඉතිරි කරගෙන තිබිණි” යන්නෙන් පැවසීමට උත්සාහ දරන්නේ එක වේලක් ආහර ලැබුණද එයද කුසපුරා නොලැබෙන බවයි. යම්තම් ප්‍රමාණවත් වු යන්නෙන් එන මැනවින් පැහැදිලි වේ. නමුත් කතාවේ මැද භාගය වන විට අග මුල අමතක වු ඇය ඉතිරි වු ආහාරයෙන් පාත්‍රය පුරවාගෙන වඳුරන්ට දෙන්නට යන බව පවසයි. සාමණේර හිමි නම වයස 6ක් තරම් වු කුඩා කෙනෙක් බව දක්වා ඇත. නමුත් ඇය නොදන්නවාට බුද්ධ නියමය අනුව වයස 7ක් වත් සම්පූර්ණ වු පසු දරුවෙකු පැවිදි කිරීම සම්ප්‍රදායයි. ලේඛිකාව කතාව ආරම්භයේ පාහේ බුද්ධ නීතියටද අවමන් කර ඇත්තේ සිතා මතාම වන්නට ඇත.

“වඳුරු අම්මාවරු කීප දෙනෙක් ඔහු සමීපයට පැමිණියහ. සැණේකින් ඔහුට තමා වඳුරු අම්මා කෙනෙක් ඇති වඳුරු පැටවෙක් වුවා නම් යැයි සිතුණි.” මෙයින් දරුවන් තුළ මතු කරන්නට උත්සාහ දරනවා ඇත්තේ පැවිදි වු පසු කිසිවෙකුගේ ආදරයක් කරුණාවක් නොලෑබෙන බව හා විහාරස්ථානවල වැඩ සිටින ගුරු හාමුදුරුවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය අකාරුණික සිත් පිත් ඇති පොඩි දරුවන්ගේ මානසිකත්වය තේරුම්ගත නොහැකි පිරිසක් ලෙසය. පැවිදි දිවියට එළඹෙන විට දෙමාපිය හිතවතුන්ගෙන් ඈත් වන බව සැබෑවක්ය. නමුත් වර්තමානයේ එම ඈත් වීම පරමාදර්ශයන් තුළම සිදුවන ඈත්වීමක් නොවන බව ලොකු කුඩා කවුරුත් දන්නා සාමාන්‍ය කරුණකි. අනික් කරුණ නම් මෙම කතාවස්තුවේදී ඇය අනියම් ලෙස උත්සාහ දරා ඇත්තේ හුදෙක්ම පැවිදි වන්නේ කාත් කවුරුත් නැති අසරණයන්ම බවටයි. සාමණේර දිවියට නිගරු කර ඇති ඇය මෙසේ පවසයි. ” දැන් වඳුරන් සමග සිටින විට ඔහු සාමණේර හිමි නමක් නොව තම කෙළිලොල් මිතුරන් සමග සිටින කුඩා ළමයෙකි.” සමාජ සම්බන්ධතා පැවැත්විමට සිවුර දැඩි බාධාවක් බව ඇය අනියමාර්ථයෙන් නොපවසන්නේද ?

කුඩා සාමණේර හිමිවරුන්ට පන්සලේ සිටින ඇත්තන්ගෙන් කිසිදු ආදරයක් කරුණාවක් නොලැබෙන බව සෘජුවම පවසන ලේඛිකාව වඳුරන් හා හාමුදුරුවරු සමාන කරමින් හාමුදුරුවරුන්ට වඩා තිරිසන්ගත සත්වයින් හොඳ බව නොපවසනවා යැයි පැවසිය හැක්කේ කා හටද ? “ඔහු ආදරය හඳුනාගත්තේ වඳුරන්ගෙනි. ඔහු වඳුරන් ස්පර්ෂ කළ විටත් ඔවුන් ඔහු ස්පර්ෂ කළ විරත් ඔහු ආදරය හඳුනා ගත්තේය. ඊට කලින් ආදරය කුමක්දැයි දැන සිටියේ නැත. ආශ්‍රමයේ කිසිවෙක් ඔහුව ආදරයෙන් ස්පර්ෂ නොකළේය.” ආරාම වල වැඩ සිටින භික්ෂූන් වහන්සේලා පිළිබද දරුවන් කුමන අන්දමේ දක්මක් ඇතිකර ගනීද යන්න පිළිබද මොහොතක් සිතන්න. දරුවන් තුළ බුදු දහම පිළිබද, ශාසන සම්ප්‍රදාය පිළිබදව. හාමුදුරුවරුන් පිළිබද මොන අන්දමේ විග්‍රහයක් ඇති කර ගනිද , මෙය ඉතා බරපතල තත්වයකි. අරුමයට කාරණාව නම් මෙම පෙළපොත වසර ගණනාවක් තිස්සේ පාසල් ළමුන්ට නිර්දේශ වී තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක මණ්ඩල , විශේෂ කමිටු ආදී නොයෙක් පරිපාලන ව්‍යූහයන් පවතිද්දී මෙවන් පහත් මට්ටමේ ක්‍රියාදාමයක් සිදු කරමින් පාසැල් දුවාදරුවාගේ මනස විකෘති කොට බුදු දහම පිළිබද වැරදි ආකල්පයන් ඇති කොට තිබෙද්දීත් මෙ සදහා කිසිදු විරෝධයක් ගොඩ නොනැගීමයි. මෙම සටහන තබන මා ද මෙවන් අන්තවාදී ක්‍රියාවක් පෙළ පොතට ඇතුළත් කොට ඇති බව දැන ගත්තේ මෙම විෂය හදාරන දරුවෙක්ගෙන් වීම සුවිශේෂීය. අනෙක් කරුණ පාසල් තුළ මෙම විෂය උගන්වන ගුරුවරු කුමන මට්ටමේ අයද කියා හෝ එකිනෙකාගේ ඉගැන්වීම් ශෛලීන් කෙබඳුද කියා අප දන්නේ නැත. මෙනිසා මෙහි ඇති භයානක කම තවදුරටත් තීවෘ නොවන්නේද ? දෛනිකව පාන්දරීන් අවදි වීම භික්ෂුවට වගේම කාහටත් වැදගත් වන්නේ එම කාලයේ උපයෝගීතාවයත් සමගය. සාමණේර හිමි නම පාන්දරින් අවදි වීම නිසා වෙහෙසට පත්වන බව දක්වන ලේඛිකාව එතැනින් නොනැවතී මහා වැඩ කන්දරාවක් මෙම කුඩා සාමණේර හිමි නමට පැවරෙන පව දක්වන්නෙ පාසැල් ළමුන්ගේ පමණක් නොව සංවේදී සිත් ඇති කාගේත් සිත් පාරවන අන්දමටය. එක් තැනකදී ” ඔහු විඩාව නිසා වෙව්ලන්නට විය. ඒ  ඔහු ඉර උදාවටත් පෙර අවදි වු නිසාය” මානසික වශයෙන් හා කායික වශයෙන් අතිශය වෙහෙසකර ජීවිතයක් පැවිදි භූමිය තුළ ගෙවන්නට සිදුවන බවට අදහසක් ඇති නොවන්නේ කාගේ සිත් තුළද ? ” ආශ්‍රමයේ ළාබාලම හිමි හැටියට පුදසුන පිරිසිදුව තැබිම ඔහුගේ රාජකාරිය විය” ඉතා පිළිකුල් සහගත වාග්මාලාවක් යොදාගෙන ඇති මෙහිදී කුඩා සාමණේර හිමි නමගේ හීල් දානය පිළිබදව දක්වන්නේ මෙසේය “ඔහු සිය හිල් දානය වු හාතාවාරිය කැඳ ගිල දැම්මේය”

සාමණේර හිමි නමකගේ පැවිදි ජීවිතය මෙහෙකාර සේවයක් සේ අතිශය කටුක බව දැක්වීමට දරා ඇති උත්සාහයේ තරම මෙයින් පැහැදිලි නොවන්නේද ? ” ඔහු වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ පඩික්කම් සෝදා බීමට කල ගෙඩියක වතුර උණු කළේය.” විහාරස්ථාන වල කුඩා හිමිවරුන්ට ඉතා අමානුෂික ලෙස සලකන බවට මේ තුළින් අදහසක් මතු නොවන්නේද ? වඳුරන් දැකීමෙන් ඔහුගේ විඩාව පහවන බව දැක්වීමෙන් ගම්‍යමාන කිරීමට යත්න දරනවා ඇත්තේ ආශ්‍රමයේ සිටින මිනිසුන්ට වඩා කැලේ සිටින තිරිසනුන් හොඳ බවය. ” ඉතා දුක්බර බැල්මකින් යුතුව ඔහු තුරුලිය කුරුල්ලන් පැහැබර හිරු එළියෙන් මිදිය යුතුය , සෑම විටම ඔහු තමා මිනිසත් බවක් ලැබ ඉපදුන බව මතක තා ගත යුතුය.” බුදු දහම තරම් පරිසර හිතකාමි වෙනත් ආගමික හෝ දාර්ශනික ඉගැන්වීමක් මේ මිහිතලය මත නොමැත්තේය. බුදු රජාණන් වහන්සේගේ ඉපදීමේ සිට එය සෑම තන්හිදිම පසක් කොට ඇත. මෙවන් උත්තරීතර ඉගැන්වීමක් සිදු කරන බෞද්ධ දර්ශනය විකෘති කරමින් ලේඛිකාව විසින් පරිසරයට වෛර කරන පිරිසක් සසුන්ගතව සිටින බවට පසක් කිරීමට යත්න නොදරන්නේද ? අනෙක මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පහදා දීමට යත්න දැරීම තුළින් කුඩා මනසට නොදැරිය හැකි අන්දමේ ඉගැන්වීම් ක්‍රමයක් පන්සල් තුළ පවතින බවට අනිසි ඉඟියක් මේ තුළින් නොදෙනවා යැයි පැවසිය හැක්කේ කා හටද ?

මෙලෙසින් වඳුරෝ කෙටිකතාව ලියු පුණ්‍යකාන්ති විජේනායක නැමැත්තිය කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් මත මේවා සිදුකරනවාදැයි මට ඇත්තේ දැඩි සැකයකි. මන්දයත් 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට දින ලංවත්ම සෑම ක්ෂේත්‍රයක් තුළින්ම පෙරදාට වඩාත් බුදු දහම විනාශ කිරීමේ සැලසුම් විවිධ ස්වරූපයන් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින බැවිනි. පාසැල් පෙළ පොත් තුළින් බෞද්ධ ඉගැන්වීම වගේම ජාතිකත්වය දැඩි ලෙස අභියෝගයට ලක් කරමින් කර ඇති විකෘතීන් රාශියකි. ජාතියේ සැබෑ පියා වු ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් පිළිබද වු පාඩම් මාලාවන් ඉවත් කරමින් හා එතුමාණන් හුදු ආගමික නායකයෙක් බවට පමණක් පත් කරමින් ඔහු ජාතික නායකයෙකු බව වසන් කොට ඇත. සැවොම ඒකරාශී වී නිර්මාණය කරන්නට වෙර දරන ශ්‍රී ලාංකික ජාතිය පිළිබඳ ප්‍රයත්නය පවා අද දින විට පාසෑල් පෙළ පොතට රිංගා ඇත. ජාතියේ පිනට වුන නාමයෙන් විජාතික එස් මහින්ද හිමියන් ලියූ

ඉපදුන රටට අදහන ආගමට සෙ                        ට

මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකො      ට

පැටවුණු බරක් මෙන් ලංකා පොලව පි                       ට

පසුවන එක හොඳද සිංහල පුතෙකු හ                 ට

ඒ උදාර කාව්‍ය කසේරුකාවක් නොමැති සංස්කාරකයින් විසින් අද විකෘති කොට ඇත්තේ අවසන් පේලියේ සිංහල පුතෙකු හට යන්න ලංකා පුතෙකු හට ලෙසිනි. එනිසා අවසන් වශයෙන් නිසි බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවන් අන්තවාදී ක්‍රියාවන් අඩුම තරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් වත් බැහැර කොට ළමා මනස් විකෘති කිරීමේ ආගමික තස්තවාදය තවදුරටත් උඩු නොයවා වහාම නවතාලන්නට කටයුතු සලස්වන ලෙසයි.

– පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.

Advertisements

One response to “කතෝලික ආගමික ත්‍රස්තවාදය දැන් පාසැල් පෙළ පොතේ

  1. පින්ග්කිරීම: කතෝලික ආගමික ත්‍රස්තවාදය දැන් පාසැල් පෙළ පොතේ | ජාතික බෞද්ධ බලවේගය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )