
වම්ඉවුර
විදේශීය මුදල් ලබන වෘත්තීය සමිති
සී. ඒ. චන්ද්‍රප්‍රේම
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවමත් විසඳුමක් නැතුව අයාලේ යයි. මෙම වැඩ වර්ජනය ගැන අප දැරූ අදහසට බොහෝ සෙයින් සමාන අදහස් දරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිටින බවට අප කලින් සිටම දැනගෙන සිටිය ද ඒ අදහස් නොබියව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සූදානම් ආචාර්යවරුන් හමුවූයේ පසුගිය සතියේය. ඉකුත් සතියේ මාත් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාත් සහභාගි වූ රූපවාහිනී වැඩසටහනකට පැමිණ සිටි කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානි අජිත් දිසානායක තම සගයන්ගේ මේ වැඩවර්ජනය නිර්දය ලෙස විවේචනය කළේය. ඔහු පවසා සිටියේ පසුගිය වසරේ ඔහුගේ වැටුප රු. 25,000 කින් 30,000 කින් වැඩි වූ බවත්, ඔහුට ඉහළින් හා පහළින් සිටින ඇදුරන්ගේ වැටුප් ද සමානුරූපීව වැඩිවී තිබෙන බවත් ඒ හේතුවෙන් ඔහුගේ දෙපාර්තමේන්තුවේ සිටින ස්‌ථිර ගුරුවරුන් 26 දෙනාගෙන් 19 දෙනෙක්‌ම වැඩකරන බවත්ය. එපමණක් ද නොව තමාට වැඩ වැරීමට නොහැකි යෑයි ලිතවම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දන්වා දිගටම වැඩ කරගෙන යන දෙපාර්තමේන්තු හා අංශ ගණනාවකම නම්ද ඔහු එහිදී සඳහන් කරන ලදී.
එම සාකච්ඡාවේදී අජිත් දිසානායක මහතා පවසා සිටියේ තමා විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ ජ. වි. පෙ. විසින් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් තමාගේ ජීවිතයට ඇතිවු බලපෑම ගැනයි. මේ සාකච්ඡා අවසන් වී යනවිට ඔහුගේ විශ්වවිද්‍යාලයේම තවත් ආචාර්යවරයෙක් වන ක්‍ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහේන්ද්‍ර ගුණවර්ධන මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වැඩවරද්දී ඔහු දිගටම වැඩකරන්නේ මන්දැයි විස්‌තර කරන ලිපියක් මාහට ලබාදෙන ලදී. එම ලිපියේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් ඉදිරිපත්කොට තිබෙන ඉල්ලීම් ප්‍රධාන කොටස් තුනකට බෙදා ඒ සම්බන්ධ ඔහුගේ අදහස් පලකොට තිබිණි.
ඔහුට දැනටම සැලකියයුතු වැටුපක් ලැබෙන නිසාත් එය තවදුරටත් වැඩිකරනතුරු සිසුන්ට උගන්වන්නේ නැතැයි කියන හිතුවක්‌කාරී මතයේ සිටීමට ඔහුගේ හෘදය සාක්‌ෂිය ඉඩ තබන්නේ නැති නිසාත් ඔහු තම ඉගැන්වීම් කටයුතු දිගටම කරගෙන යන බවයි. තම වර්ගයා සමඟ පොදු සටන්වල එකට සිටිය යුතු වුවත් මේ අවස්‌ථාවේදී ඔහු එය කළොත් එයින් සිසුන්ට හානිකර වන බවත් මාස කීපයකින් විශ්වවිද්‍යාලයෙන් පිටවීම ප්‍රමාද වුවහොත් සිසුන්ගේ ජීවිත එයින් අවුරුදු ගණනක් ආපස්‌සට යා හැකි බව ඔහු හොඳින් දන්නා බවත් පවසා සිටී. ගුණවර්ධන මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කොට ඇති එක් ඉල්ලීමක් වූ තමුන්ගේ ළමුන් පෞද්ගලික පාසලකට දැමීමට හෝ බෝඩිං ගාස්‌තු ගෙවීමට ඉල්ලා තිබෙන වෙනම දීමනාවක් “දුෂ්ඨ ඉල්ලීමක්” හැටියට හඳුන්වන ඔහු එය එකහෙළාම ප්‍රතික්‌ෂේප කරන බව ඔහු එම ලිපියේ පවසා ඇත.
දළ ජාතික නිෂ්පාදිතයේ අධ්‍යාපනයේ දායකත්වය 6% දක්‌වා වැඩි කරන්නැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කර තිබූ ඉල්ලීම ද දැඩි ලෙස විවේචනය කරමින් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ දල දේශීය නිෂ්පාදිතය තුළ මුළු රජයේ වියදම්වල දායකත්වය වන්නේ 23% ක් වැනි ප්‍රතිශතයක් බවත් එයින් කාලකටත් වඩා අධ්‍යාපනයට වෙන් කරන්නැයි කීමෙන් සෙසු අංශවලට ඉතිරි වන්නේ මොනවාද යන්න ඔහු ප්‍රශ්න කර සිටී. එපමණක් ද නොව ඔහු මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට කෙළින්ම චෝදනා ද කරමින් පවසා සිටින්නේ මේ 6% ඉල්ලීම අධ්‍යාපනය වෙනුවෙන් සද්පරමාර්ථයෙන් කරන ලද ඉල්ලීමක් නොව රට අස්‌ථාවර කිරීමට හැකිදැයි බැලීමට ජ. වි. පෙ. විසින් එයට ලබාදී තිබෙන සටන් පාඨයක් බවයි. මේ රටේ හොඳ අධ්‍යාපනයකුත් සෞඛ්‍ය සේවාවකුත් ලබා දෙන බව පවසන ඔහු ඉලක්‌කම් පිළිබඳ මෝඩ විවාදයකට ඔහු සූදානම් නැති බව පවසා සිටී.
බ්‍රිතාන්‍යයේ තත්ත්වය උදාහරණයකට ගන්නා ඔහු පෙන්වා දෙන්නේ අද බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන් බොහෝවිට බඳවා ගන්නේ අවුරුදු 3 ක කොන්ත්‍රාත් වලට මිස ස්‌ථිර පදනමක් මත නොවන බවත් එම පුද්ගලයාට විශ්වවිද්‍යාල තුළට මුදල් ගලාගෙන එන ආකාරයට ඉගැන්විය නොහැකි නම් ඒ කොන්ත්‍රාත්තුවද නැවත දිගු නොකෙරෙන බවයි. එපමණක්‌ද නොව රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමක් නැති පාඨමාලා නිර්දය ලෙස වසා දැමෙන බවත් සිසුන් ගෙවිය යුතු ගාස්‌තු එන්න එන්නම වැඩිවන බවත් එයත් සමඟ සසඳන විට ලංකාවේ විශ්වවිද්‍යාලවල ආණ්‌ඩුවෙන් සියලු වියදම් ගෙවන නිසා බෙහෙවින්ම ස්‌ථාවර තත්ත්වයක තිබෙන බවත් ඔහු පවසයි. මේ ආකාරයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය ගැන අප තුළ තිබූ සැකයක් ඊට වඩා බෙහෙවින්ම ප්‍රබල ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරම තිබෙන බව පැහැදිලිය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහමග පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කරනු දැකීමෙන් මා තුළ ඇතිවූ තවත් ප්‍රශ්නයක් වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්ද ජනමාධ්‍යවේදීන්ගේ සංගම් හා වෘත්තීය සමිති පසුගිය වකවානුවේ ගිය මාර්ගයේම යනවාද යන්නයි. අද මේ රටේ සිවිල් සමාජ සංවිධාන නැත. ඇත්තේ විදේශ මුදල්වලින් යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන පමණි. ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති කිසිවක් නැති අතර ඇත්තේ විදේශ මුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් පමණි. මේ හරහා වෘත්තීයමය මාධ්‍ය උද්ඝෝෂණකරුවන් පිරිසක්‌ද බිහිවී තිබේ. මහපාරේ උද්ඝෝෂණවලට සහභාගි නොවිය යුතු පිරිස් උද්ඝෝෂණය කරන විට මා තුළ නිරායාසයෙන්ම ඇතිවන අදහස වන්නේ මෙය එන්. ජී. ඕ. කරණයේ ලක්‌ෂණයක් බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කොට ඇති පුළුල් දේශපාලන ස්‌වරූපයකින් යුත් ඉල්ලීම් නිසා මහපාරේ උද්ඝෝෂණය කිරීම නිසාත් මට හැඟෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයත් මාධ්‍ය සංගම් ගිය පාරේම යන බවකි. 1980 ගණන්වල සිටම විදේශ මුදල් වෘත්තීය සමිති අංශයට ලැබෙමින් පැවැති බව නොරහසකි. එම නිසා අද බොහෝ වෘත්තීය සමිති රාජ්‍ය නොවන සංවිධාන බවට පත්වී ඇතුවාට සැකයක් නැත. වෘත්තීය සමිතියක එකම ආදායම විය යුත්තේ සාමාජික මුදල් පමණක් බවට වගබලා ගැනීම ඒ සංගමයේ සාමාජිකයන්ගේම වගකීමක් වෙයි. ඒ මන්ද යත් වෙන වෙන තැන්වලින් මුදල් එම සංගම්වල නිලතල දරන උදවියට ගියොත් සාමාජිකයන්ගේ වගතුග බලා ගැනීම පසෙක දමා තම හාම්පුතුන්ගේ කොන්ත්‍රාත් ඉටුකිරීමට වෘත්තීය සමිති නායකයන් පෙළඹෙන බැවිනි. යම් වෘත්තීය සමිතියකට සාමාජික මුදල් වලින්
ඉතිරි වූ මුදල් ආයෝජනය කර ලබාගන්නා පොලී මුදල් නැතිනම් ආණ්‌ඩුවෙන් ඉල්ලා ගන්නා ලද ඉඩමක ගොඩනැඟිල්ලක් ඉදිකොට එය බදු දීමෙන් ලබාගන්නා මුදල් වැනි ආදායම් තිබිය හැකි වුවත් කිසිසේත්ම විදේශ රටවලින් මුදල් ලැබෙමින් තිබිය නොහැක.
මේ සම්බන්ධයෙන් කිසිදු රෙගුලාසි පද්ධතියක් මේ රටේ නැති නිසා විදේශ මුදල් මේ රටේ හැමතැනටම කාන්දු වී ඇත. මීට දශකයකට පමණ පෙර පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් විසින් පිහිටුවන ලද සංගමයක් සාමය පිළිබඳ ප්‍රචාරක ව්‍යාපාරයක් රට තුළ කරගෙන යන ලදී. ඔවුන් ව්‍යාපාරිකයන් කියා මෙවැනි දෙයකට මුදල් ඔවුන් විසින්ම යෙදිය යුතු වුවත් ඒ ප්‍රචාරක ව්‍යාපාරයටද මුදල් දෙනු ලැබුවේ විදේශ රටකිනි. ශ්‍රී ලංකාව තරම් එන්. ජී. ඕ. කරණයට ලක් වූ තවත් රටක් ආසියාවේ තව තිබේ දැයි අප නොදනිමු.
මෙය කොතනින් හෝ යම්කිසි පාලනයකට භාජන විය යුතුය. වර්තමානයේ මේ ඇතිවී තිබෙන වර්ජන රැල්ල නිසා ආණ්‌ඩුව මුලින්ම කළ යුත්තේ වෘත්තීය සමිතිවලට විදේශ මුදල් හෝ ඉන්දියාවේ හඳුන්වන ආකාරයට “විදේශ සත්කාර” ලැබෙනවාද යන්න සොයා බැලීමය. අසල්වැසි ඉන්දියාවේ මේ වන විට දශක ගණනක් මුළුල්ලේ රට තුළට එන විදේශ මුදල් සම්මාදම් පාලනය කිරීමට ඉතා දැඩි රෙගුලාසි ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. ඉන්දියාවේ ඇති නීති දෙස බලන විට එවැනි නීති නොමැතිව ලංකාව මෙතෙක් පැවතියේ කෙසේ දැයි සිතා ගැනීමට අසීරුය.
1976 සිටම ඉන්දියාවට “විදේශ සම්මාදම් නියාමන පනතක්” තිබිණි. එම පනතේ තිබුණු සුළු සුළු හිඩැස් කීපයක්‌ද වසා එය නැවතත් 2010 දී අංක 42 දරන පනත හැටියට ඉන්දියාව සම්මත කරගෙන සිටී. ඉන්දියාවේ මේ නීති අනුව ඇතැම් පුද්ගලයන්ට මොනම ආකාරයකවත් විදේශීය සම්මාදමක් ලැබීම තහනම් විය. මේ අතර මුල්ම තැනක් ගන්නේ පාර්ලිමේන්තුවේ සිට ගම් මට්‌ටමේ පංචායන් සංවිධාන දක්‌වා සිටින දේශපාලනඥයන් හා ඡන්ද අපේක්‍ෂකයන්ය. නමුත් ලංකාවේ මෙවැනි කිසිම තහනමක් නැත. ඇතැම් ඡන්ද අපේක්‍ෂකයන් සතුව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් තිබී අතටම හසුවී ඇත. එපමණක්‌ද නොව ඇතැම් දේශපාලනඥයන් විසින් පිහිටුවා තිබෙන පදනම් වලටද විදේශ මුදල් පොම්ප කරනු ලැබේ. මෙමගින් මේ රටේ දේශපාලන ක්‍රියාවලියට විදේශ බලවේගවලට අසීමිතව මැදිහත් වීමට ඉඩප්‍රස්‌ථාව ලැබී ඇත. 1970 ගණන් වල මේ ආකාරයට විදේශ මුදල් තුන්වන ලෝකයට ගලා යැමට පටන්ගත් මුල් යුගය වූ 1970 ගණන්වලම ඉන්දියාව එය පාලනය කිරීමට දැඩි පියවර ගන්නා ලදී. ඒ රටේ දේශපාලන පක්‍ෂවල නායකයන් හා නිලතල හොබවන්නන්ටද විදේශ සම්මාදම් ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
ඉන්දියාවේ විදේශ සම්මාදම් නියාමන පනත විසින් විදේශ සම්මාදම් ලබාගැනීමට සහමුලින්ම තහනම් කොට ඇති තවත් කොට්‌ඨාසයක් වන්නේ පුවත්පත් කලාවේදීන්, කාටුන් ශිල්පීන්, තීරු ලිපි රචකයන් හා පුවත්පත් ප්‍රකාශකයන් හා විද්යුත් මාධ්‍යවල ඒ තනතුරු දරන්නන්ය. ඉන්දියාව මෙවැනි උදවියට විදේශ සම්මාදම් ලබාගැනීම තහනම් කොට තිබෙන්නේ විදේශීය බලවේගවලට ඉන්දියාව තුළ තොරතුරු හා ජනමතය පාලනය කිරීමට ඉන් හැකියාව ලැබේවිය යන බිය නිසාය. නමුත් ලංකාවේ නම් මේ සම්බන්ධයෙන් ඇත්තේ සම්පූර්ණ අරාජිකත්වයකි. මේ රටේ සියලුම ජනමාධ්‍ය සංගම්වලට විදේශ මුදල් ලැබේ.
ඉන්දියාවේ අධිකරණයේ විනිසුරුවන්, රාජ්‍ය සේවකයන් හා රාජ්‍ය සංස්‌ථා සේවකයන්ටද මොනම විදේශීය සම්මාදමක්‌වත් ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම්ය. විදේශීය වෘත්තීය සමිති හා පදනම් වලින් සම්මාදම් ලබාගැනීමද සපුරා තහනම්ය. ඉන්දීය නීතියේ සුවිශේෂත්වයක් වන්නේ මධ්‍යම ආණ්‌ඩුව විසින් යම් කිසි සංවිධානයක් “දේශපාලන ස්‌වභාවයකින්” යුත් එකක් යෑයි වර්ගීකරණය කරනු ලැබුව හොත් එවැනි සංවිධානවලටද කිසිදු විදේශීය සම්මාදමක් ලබාගැනීම සපුරා තහනම් වෙයි. දේශපාලන පක්‍ෂයක් සමග ඇසුරු කිරීමද මෙවැනි තහනමකට ප්‍රමාණවත්ය. නමුත් ලංකාවේ නම් රාජ්‍ය නොවන සංවිධාන නිදැල්ලේ දේශපාලන පක්‍ෂ සමග එකට කටයුතු කරයි.
ඉන්දීය නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක් හෝ සංවිධානයක් විදේශ සම්මාදම් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම් මධ්‍යම ආණ්‌ඩුව සමග ඔවුන් ලියාපදිංචි වී තිබිය යුතුය. මෙවැනි ලියාපදිංචියක් නැති කිසිදු පුද්ගලයකුට, සමාගමකට, සංගමයකට හෝ ස්‌වෙච්ඡා සංවිධානයකට විදේශ සම්මාදම් ලබාගත නොහැක. නමුත් ලංකාවේ මෙවැනි කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවේ. ඉන්දියාවේ විදේශ සම්මාදම් යන්න යටතට “විදේශ සත්කාරද” ඇතුළත් වෙයි. විදේශ සත්කාර යනුවෙන් මෙහි හැඳින්වෙන්නේ විදේශ රටවලට යැමට පහසුකම් සලසා දීමයි. ඉහතින් දක්‌වන ලද සියලුම කොටස්‌වලට විදේශ සම්මාදම් මෙන්ම විදේශ සත්කාර ලැබීමද තහනම්ය.
ඉහතින් දක්‌වන ලද දේශපාලනඥයන්, ඡන්ද අපේක්‍ෂකයන්, ජනමාධ්‍යවේදීන්, විනිසුරුවන්, රජයේ සේවකයන් වැනි අය හරුණු විට වෙනත් කවරයකු හෝ විදේශ සම්මාදම් ලබාගැනීම ඉන්දියාවේ ස්‌වාධිපත්‍යයට හා ඒකාග්‍රතාවට වන හානියක් හැටියට ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවට ඒත්තු යන්නේ නම් එවැනි අයට විදේශ සම්මාදම් ලබාගැනීම තහනම් කළ හැක. විදේශ සම්මාදම් ලබාගැනීමට ලියාපදිංචිය ලබාගෙන සිටින සංවිධාන හා පුද්ගලයන්ගේ වැඩකටයුතු අධීක්‍ෂණය කිරීමට ආණ්‌ඩුවට අයිතියක් ඇති අතර ඔවුන්ට එවැනි සංවිධානවල ගොඩනැඟිලි වලට ඇතුළු වීමටත් ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් රාජසන්තක කිරීමටත් අයිතියක් ඇත. රුපියල් මිලියන 10 කට වඩා විදේශ සම්මාදම් ලබන සෑම සංවිධානයක්‌ම ලබාගත් මුදල් ප්‍රමාණය, ඒවා ලැබුණේ කොතැනින්ද යන්නත් වියදම් කළේ කුමක් සඳහා ද යන්නත් සවිස්‌තරාත්මක වාර්තාවක් ඔවුන්ගේ වෙබ් අඩවි තුළද පවත්වාගෙන යා යුතුය. මේ රටේ මෙවැනි කිසිදු නීතියක් නැත. ඉන්දියාව වැනි විශාල බලගතු රටක් ඔවුන්ගේ රට තුළට එන විදේශීය සම්මාදම් වලින් සිදුවිය හැකි හානි පිළිබඳව මෙතරම් සුපරික්‍ෂාකාරී වන්නේ නම් කුඩා රටක් වන ලංකාව ඊට වඩා සිය ගුණයක් සුපරික්‍ෂාකාරී විය යුතුය. ශ්‍රී ලංකාවේ අනාගත පැවැත්ම සඳහා අපට ද ඉන්දියාව අනුව යමින් විදේශ සම්මාදම් නියාමන පනතක් අවශ්‍ය බව මෙයින් මම යෝජනා කර සිටීමට කැමැත්තෙමි.
http://www.divaina.com/2012/08/20/feature01.html