ළමයින් ලවා සතුන් මරන්නේ
නියම ඝාතකයා නැති දිනවලදී
පොලිස් පරීක්‍ෂණවලින් සොයා ගනී
හේමන්ත රන්දුණු
තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසයේ පවත්වාගෙන යන සත්ත්ව ගොවිපළේ ඌරන්, කුකුළන් මරා මස් කිරීමට නියමිත ඝාතකයා සේවයට නොපැමිණෙන දිනවලදී එම කාර්ය සඳහා ළමා නිවාසයේ තරුණ පිරිමි ළමයින් යොදවා ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
ඊට අමතරව සත්ත්ව ගොවිපළේ කෙරෙන බොහෝ කටයුතු සඳහා ළමා නිවාසයේ දරුවන් යොදවන බවද හෙළිදරව් වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්‌ඩායමක් පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එම පරීක්‍ෂණ සඳහා ළමාරක්‍ෂක අධිකාරියේද විශේෂ කණ්‌ඩායමක් තිස්‌සමහාරාමයට ගොස් සිටිති.
පරීක්‍ෂණවලදී හෙළිවී ඇති අන්දමට මෙම සත්ත්ව ගොවිපළ ළමා නිවාසය පවත්වාගෙන යන පාස්‌ටර්වරයා විසින් පවත්වාගෙන යයි. එහි සුනාමියෙන් අවතැන්වූ දරුවන් මෙන්ම විවිධ හේතූන් නිසා අසරණ වූ දරුවෝ 89 දෙනෙක් රඳවා සිටිති.
සත්ත්ව ඝාතනය වැනි කෲර ක්‍රියා සඳහා ළමා නිවාසයේ දරුවන් යොදවාගන්නේ නම් එය බරපතළ වරදක් බව පෙන්වා දෙන දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.