තිස්‌ස ළමා නිවසේ පාලනය පාස්‌ටර්ගේ සොයුරියට
දකුණු පළාත් පරිවාස හා ළමා රක්‌ෂණ කොමසාරිස්‌වරිය
ගත් පියවරට ප්‍රදේශයෙන් දැඩි විරෝධය
දෙබරවැව – ඒ. ඒ. ප්‍රේමසිරි සහ කතරගම – කේ.ඩී. දේවප්‍රිය
තිස්‌සමහාරාම බෝගහපෑලැස්‌ස ළමා නිවාසයේ පාලකයා විසින් එහි දරුවන් සත්ත්ව ඝාතනයට යොදා ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය හමුවේ එම ළමා නිවාසයේ දරුවන් එම ස්‌ථානයෙන් ඉවත් කර වෙනත් ආරක්‍ෂිත ළමා නිවාසයකට යොමු කරනවා වෙනුවට එම ළමා නිවාසයේ භාරකාරත්වය හා කළමනාකාරිත්වය චෝදනා ලැබ සිටි පාස්‌ටර්වරයාගේ සොහොයුරියට පවරා දී ඇත.
මෙම පැවරීමට දකුණු පළාත් පරිවාස හා ළමා රක්‍ෂක කොමසාරිස්‌වරිය ගත් පියවරට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය පළවී තිබේ.
සත්ත්ව ඝාතනයට අමතරව බෞද්ධ දරුවන් අන්‍ය ආගම්වලට බලෙන් හරවා ගැනීමේ චෝදනා ලැබ සිටින මෙම ළමා නිවාසයේ පාලකයාගේ සොහොයුරිය වන මාගරිටා ලාලනි ද පූජකවරියකි. දැනට ළමා නිවාසයේ පාලනයෙන් ඉවත් කරනු ලැබූ පාලකයා ජීවත් වනුයේත් එම ළමා නිවාසයෙහි බව අනාවරණය වේ.
දකුණු පළාත් පරිවාස හා ළමා රක්‍ෂක කොමසාරිස්‌වරිය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගයට ප්‍රදේශවාසීන් මෙන්ම ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේ ඇතුළු ආගමික පූජකවරුන්ද දැඩි අප්‍රසාදය පළ කරති.
මේ පිළිබඳව වහාම සොයා බලා මෙම දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට සාධාරණ හා පිළිගත හැකි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ප්‍රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.