කතෝලික NGO මුදලින් සිරිවර්ධන බුදු වීම

God Bless යනුවෙන් තම ශ්‍රාවකයන්ට පිළිතුරු දෙන මේ මන්ද මානසික මිනිසාගේ පසුබිමේ මුදල් සැපයුම ඒ පිළිතුරින්ම තේරුම්ගත හැකිය. පල්ලිය බුදු සමය වනසන්න යොදන උපා වල කෙළවරක් නැත. මේ පිස්සා එලවා දමන්න හැමෝම එක්විය යුතු කාලයයි මේ.


සිරිවර්ධන බුදු වීම අප්පුවා රජවීම

“දිවයිනේ” මුල් පිටුවේ ඊයේ (25 දා) පළවූ පුවතක්‌ පිළිබඳව අපගේ අවධානය යොමු කරනු ලැබේ. ගාල්ලේ වඳුරඹ වාසය කරන පුද්ගලයකු බුද්ධාගමට විරුද්ධව යන සැටිත්, ඔහු සිටින තැන වැටලීම සඳහා සිවිල් වැසියන් සහ භික්‌ෂුන් වහන්සේලා පිරිසක්‌ සංවිධානය වූ සැටිත් පුවතේ විස්‌තර වෙයි. මේ පුද්ගලයා ගැන පුවතේ නැති කතාව මෙසේයá ඔහුගේ නම සිරිවර්ධනය. වඳුරඹ, දේශන ශාලාවක්‌ තනාගෙන එහි සිට බණ දේශනා කරන ඔහු කියන්නේ තමන් බුදු බව ලබා ඇති බවය. ඔහුගෙන් බණ ඇසීමට උපාසක අම්මලාත්, ධනවත් මහත්වරු සහ නෝනලාත්, චීවරධාරියෝත් පැමිණෙති. බණ කීම සඳහා එන්නට සිරිවර්ධනට බැරි වූ දවසට ඔහුගේ බණ දේශනා සහිත සී.ඩී. තැටියක්‌ වාදනය කරනු ලැබේ. එදාට ඔහුගේ පුටුවට වැඳගෙන ඒ බණ අසන උපාසක අම්මලා පිළිබඳ ඇසින් දුටු සාක්‍ෂි තිබේ.

මෙයට වසර දෙදහස්‌ පන්සිය පනස්‌ ගණනකට පෙර සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලද බව ප්‍රකාශයට පත් වීමත් සමඟම ලෝකයේ ඇති ප්‍රශ්නවලින් සියයට සියයක්‌ම විස¹ ගැනීමට මාර්ගයක්‌ සකල ලෝකවාසී ජනයාට පෑදින. එහෙත් සිරිවර්ධන තමා බුදු වී යෑයි ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ඒ ප්‍රශ්න සියයට සියය මෙන්ම මෙතෙක්‌ නොතිබූ ප්‍රශ්න සමූහයක්‌ද හටගෙන තිබේ. සිදුහත් බෝසතාණන් බුදු වීමත් සමගම දුර්මත වපුරමින් කම් සැප අනුභව කළ බමුණෝ නන්නත්තාර වූහ. ගස්‌ ගල්වලට වඳිමින්, බිලි පූජා පවත්වමින් සිටි කපටි පූජකයෝ මහපාරට වැටුණහ. එසේම ඇඟේ තිබූ ඇඳුම් ගලවා දමා තනි කකුලෙන් හිටගෙන සිටි ජෛනයන්ට නැවත වරක්‌ ඇඳුම් මසා ගැනීම සඳහා එකල තිබූ ටේලර් සාප්පු වෙත යැමට සිදු විය. එහෙත් සිරිවර්ධන තමා බුදු වී යෑයි කී පසු කිසිදු සමාජ පෙරළියක්‌ සිදුවී නැත. සිදුවීමට ගිය එකම පෙරළිය වූ ගිහියන් සහ සංඝයා වහන්සේලා සිරිවර්ධන වැටලීමට ගිය ගමනද පොලිසිය විසින් වළක්‌වන ලදී. යම් හෙයකින් මේ පිරිසට සිරිවර්ධන හමු වූයේ නම් ඔහුගේ ශරීර කොටස්‌ ගණන් කිරීමේ කාර්යය අවසන් කිරීමට රජයේ රස පරීක්‍ෂකට දින ගණනාවක්‌ම ගතවනවා ඇත.

ඔය කියන තරම් ලෙහෙසියෙන් ගිහියකුට බුදු විය හැකිද? “මම සෝවාන් වීමි, මම සකෘදාගාමී, අනාගාමී පල ලැබීමි, මම නිවන් මඟ සොයා ගතිමි” යනුවෙන් කියන පුද්ගලයෝ කාලයෙන් කාලයට මතුවෙති. ධර්මය ප්‍රගුණ කර ධර්මයෙහි හැසිරී පෙර කී තත්ත්වයන් ලබාගත් පින්වතුන් අප අතර සිටින්නට පුළුවන. උදාහරණයක්‌ වශයෙන් මහායාන බුද්ධාගමට අයත් කෘතියක්‌ වූ “තිබ්බත මළපොත” (The Tibet Book of the Dead) නමැති කෘතිය ගනිමු. තිබ්බතීය බෞද්ධ වත් පිළිවෙත්වලට අනුව ලියෑවී ඇති මෙම පොතේ එන පරිදි ඕනෑම කෙනකුට නිවන් යා හැකිය. ඒ සඳහා කළ යුත්තේ මරණ මංචකයේ සිට භාවනා කරමින් සියලු ආශාවන් ප්‍රහීන කර ගැනීමය. මෙසේ භාවනා කරමින් සිටින තැනැත්තා විවිධ කාමභෝගී සහ රස භෝගී දර්ශන මනෝමයෙන් දකී. ඒවා අසල ඔහු නැවතුනොත් ඉපැදීම යළි සිදු වෙයි. එහෙත් ඒ සියලු දේ පසුකර ඉදිරියට යැමට ඔහුට හැකිනම් එක්‌තරා අවස්‌ථාවකදී යළි ඉපදීමෙන් බැහැර වීමේ ශක්‌තිය ඔහු තුළ ඇති වන්නේය.

මෙය Fast Food (ක්‍ෂණික ආහාර) වර්ගයේ Instant (එකෙණෙහිම) නිවන් යැමකි. මුළු ජීවිත කාලය තුළම පව් කරමින් ජරාජීර්ණ වූ ජීවිත ගත කළ මිනිසුන්ට මේ ක්‍රමයෙන් නිවන් ගිය හැකිද යන්න ගැන අපට දැනීමක්‌ නොමැත. අප දන්නා බුද්ධත්වය වන්නේ කිව නොහැකි තරම් කාලයක්‌ පෙරුම් පුරා ලබන බුද්ධත්වය ගැනය. මුවා මරා කෑමට ඌ පසුපස එළවමින් සිටි දේවානම් පියතිස්‌ස පස්‌ පව් නොකරන රජකු බවට පත්කළේ ඒ බුද්ධත්වය තුළින් හටගත් ධර්මය විසිනි.

ආගම යනු ඉතා සංවේදී විෂයයකි. මම බුදු වීමි යනුවෙන් ප්‍රකාශයක්‌ කරන කෙනෙක්‌ ඒ බව ඔප්පු කර පෙන්විය යුතුය. සිරිවර්ධන මැතිතුමා එය කෙසේ ඔප්පු කළේ දැයි අපි නොදනිමු. “මම ක්‍රිස්‌තුස්‌ වෙමි” යනුවෙන් පත්තරවල දැන්වීම් දමන පුද්ගලයෙක්‌ සිටී. මේ සියලු කතන්දර අසන අපට මතක්‌ වන්නේ “අප්පුවා රජ වීම” නමැති පැරැණි සිංහල ජන කතාවකි. රජ වීමට කෙනකු සොයාගත නොහැකි තරම් රට පරිහානියට පත්වූ කාලයක ගමක සිටි, පොල් කඩා දීමෙන් ජීවත් වූ අප්පුවා රජ විය. රජ වුවද හැම උදෑසනකම ඔහු වළල්ලක්‌ ගෙන පොල් කැඩීම සඳහා ගමේ ගෙවල් ගානේ ගියේය. මෙතැන් සිට ඉතිරි හරිය සිතා ගැනීම පාඨකයාට භාරය.

 

http://www.divaina.com/2012/06/26/editor.html

Advertisements