අපේ බෞද්ධ උරුමය රැක දුන් විරුවා


අපේ බෞද්ධ උරුමය රැක දීමට ජීවිතය කැප කළ
බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර විරුවාණෝ

මෙම සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන 100 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

මීගමුව මහහුණුපිටිය ග්‍රාමයේ ජන්මලාභය ලබා රට දැය වෙනුවෙන් සුවිශේෂ සේවාවක්‌ ඉටුකර ශ්‍රේෂ්ඨ වීරවරයෙකු වශයෙන් ඉතිහාසයට එක්‌වූ ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර උතුමන් දැයෙන් සමුගෙන 2012 සැප්තැම්බර් මසට වසර 100 ක්‌ සපිරේ. එහි ප්‍රධාන පිංකම සහ ගුණසමරු උත්සවය 2012 සැප්තැම්බර් මස 2 වැනි දින මීගමුව අභයසේඛරාරාම මහා විහාරස්‌ථානයේ පැවැත්වේ.

1876 ජුලි මස 9 වැනි දින මීගමුව මහහුණුපිටිය ග්‍රාමයේ පදිංචිව සිටි වෙළෙඳ ප්‍රභූවරයෙකුව සිටි වලිසිංහ හෙන්දිරික්‌ සිල්වා සහ පේහන්දි මර්තිනා ද සිල්වා ගුණසේකර යුවළගේ දෙටු පුත් ලෙස මෙලොව එළිය දුටු බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන්ගේ මුල් නම වූයේ වලිසිංහ එඩ්වඩ් සිල්වා යනුවෙනි. පස්‌වියට පිවිසෙත්ම මීගමුව මහහුණුපිටිය සුගතාරාම මහා විහාරස්‌ථානයේ වැඩවිසූ පූජ්‍ය හුණුපිටියේ ධම්මරතන තිස්‌ස නාහිමිපාණන්ගේ පා සෙවණේ පන්සල් අධ්‍යාපනය ලද වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන් ඉන් පසුව මහහුණුපිටියේ බෞද්ධ පාඨශාලාවලට ඇතුළත් කරන ලදී. ඉන් අනතුරුව ඉංගී්‍රsසි අධ්‍යාපනය ලබනු පිණිස මීගමුව ශාන්ත මරියා (මේරි) විදුහලට ඇතුළත් වූ එතුමන් 1889 දී කොළඹ වෙස්‌ලි විදුහලට පිවිස එම විදුහලේ අධ්‍යාපනය ලැබීය. ඉන්පසු එකල ප්‍රභූන්ගේ ජනප්‍රිය වෘත්තිය වූ නීති වෘත්තිය හැදෑරීම සඳහා නීති ක්‍ෂේත්‍රයට පිවිසි අතර එහිදී එකල ප්‍රකට නීති විශාරදයන්ව සිටි එච්. ඡේ. වී ඒකනායක, ඡේ. ටී. බ්ලෙස්‌ යන මහත්වරුන් ඇතුළු ප්‍රකට නීතිවේදීන් රැසකගේ ඇසුරට පත්විය. නීතිඥ වෘත්තියට පිවිසීමට වඩා රටට දැයට සේවය කිරීමේ අමිල අරමුණෙන් එතුමන් 1898 ජුනි මස 30 වැනි දින සිය ගෘහස්‌ථ දිවිය හැරදමා රට දැය සමය සහ බෞද්ධාගම දියුණු කිරීම සඳහා සිය දිවිය කැපකිරීම ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව මෙතෙක්‌ කලක්‌ එතුමන් භාවිත කළ ගිහි නම වූ එඩ්වඩ් සිල්වා යන නාමය අත්හැර වලිසිංහ හරිශ්චන්ද්‍ර යන නාමය භාවිත කිරීමට පටන් ගත් අතර එතුමන්ගේ වලිසිංහ හරිශ්චන්ද්‍ර යන නාමයට 1898 ජනවාරි මස 1 වැනි දින විෙද්‍යාaදය (විද්යෝදය) මහ පිරිවෙනේ මහා ජනසභාවක්‌ හමුවේ පැවති මහා බෝධි සංවත්සර රැස්‌වීමකදී එවකට එහි පරිවේනාධිපතිව වැඩ විසූ හික්‌කඩුවේ සුමංගල නාහිමිපාණන් විසින් වලිසිංහ හරිශ්චන්ද්‍ර උතුමන්ට “බ්‍රහ්මචාරී” යන ගෞරව නාමය පිරිනමා එතුමන් බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්‌චන්ද්‍රයන් බවට පත් කරන ලදී.

එතුමන්ට 1902 අමරපුර මහා නිකායෙ බිහි වී රට තුළ බෞද්ධ ආගම නගා සිටුවීම සඳහා ආරම්භ කර තිබූ නිහඬ විප්ලවයත් එතුමන්ගේ මුල් පරම්පරාව රටට සේවාවන් ඉටු කිරීම සඳහා පහල වූ දකුණු ලංකාවේ වැලිතොට (වර්තමානයේ බලපිටිය) ග්‍රාමයට සම්බන්ධ වී තිබීම නිසා ජන්මයෙන්ම රට දැය සමය වෙනුවෙන් විප්ලවීය කටයුතු වලට දායක වීමට ජන්මයෙන් උරුම වී තිබිණි.

මෙම කාලය තුළ අප රටේ බෞද්ධ අයිතීන් රැක ගැනීම සඳහා අභීත සටනක්‌ ගෙනගිය අනගාරික ධර්මපාල උතුමන්ගේ ඒ සඳහා නොමසුරු සහාය ලබාදුන් කර්නල් හෙන්රි ඕල්කොට්‌ යන ප්‍රභූවරුන් ඇසුරට බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් පත්විය.

වර්ෂ 1902 දී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා විසින් ආරම්භ කරන ලද ස්‌වර්ණමාලී චෛත්‍ය සංවර්ධන සමිතිය අනුරාධපුරයේ හීන තත්ත්වයට පත්ව තිබූ බෞද්ධාගමේ පුනර්ජීවනය යළි නගාසිටුවීමට මහෝපකාරී විය. ඉංග්‍රීසි පාලකයන් විසින් මුඩුබිම් පනත යටතේ අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථානවලට අයත් භූමිභාග රජයට අත්පත් කොටගෙන එම පූජනීය ප්‍රදේශවල ජනාවාස ඇති කිරීමට ඉංග්‍රීසි පාලකයන් විසින් ගනු ලැබූ පියවරයන්ට එරෙහිව අභීත සටනක යෙදුන වලිසිංහ හරිශ්චන්ද්‍ර උතුමන් අධිරාජ්‍යවාදීන්ගේ එම ප්‍රයත්න උපන් ගෙයිම බිඳ දැමීමට සමත්විය. එතුමන් අනුරාධපුරයේ ශ්‍රී විභූතිය ආරක්‍ෂා කරගැනීමට බලවත් සටනක යෙදුනි.

1899 ඔක්‌තෝබර් මස 28 දා අනගාරික ධර්මපාල තුමන්ගේ යෝජනාවක්‌ අනුව වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන් මහා බෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ධුරයට පත්විය. දඹදිව බුද්ධගයාව ප්‍රමුඛ බෞද්ධ සිද්ධස්‌ථාන රැකගැනීම පිණිස අනගාරික ධර්මපාලතුමන් විසින් දඹදිව ගෙනගිය අභීත සටනට දායකවීම සඳහා හරිශ්චන්ද්‍ර තුමන් 1899, 1903, 1905 සහ 1908 යන වර්ෂවල දඹදිවට සිව් වතාවක්‌ සැපත් වූහ. එහිදී ලුම්බිණි ජයසිරි මහා බෝ මැඩ විස්‌තරය නම් වූ ග්‍රන්ථය රචනා කළ වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන් දඹදිව බෞද්ධ සිද්ධස්‌ථානවල තත්ත්වය පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කරන ලදී.

ලංකාවේ ජාතික නිදහස්‌ ව්‍යාපාරයට අමද්‍යප ව්‍යාපාරයට ගවමස්‌ කෑමට විරුද්ධවද හරිස්‌චන්ද්‍රතුමා දැඩි කැපවීමෙන් කටයුතු කරන ලදී. එවකට පැවති සුරාබදු පනතට සෘජුවම විරුද්ධවෙමින් “සුරා පානය” නමැති ග්‍රන්ථය ලියා අමද්‍යප සටනට බෙහෙවින් උපකාරී විය. අනුරාධපුරයේ බෞද්ධ අයිතීන් රැක ගැනීමට නොනවතින සටනකට අවතීර්ණ වූ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්ගේ මග පෙන්වීම මත නිද්‍රාවෙන් පසුවූ බෞද්ධයන් අවදි වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අභියස පවත්වාගෙන ගිය ගවමස්‌ සහ මුවමස්‌ වෙළෙඳසල් ආදිය කඩා බිඳ දැමූහ. බෞද්ධ අයිතීන් වෙනුවෙන් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් විසින් ගෙනගිය අභීත සටන සුදු අධිරාජ්‍යවාදීන්ට බලවත් හිසරදයක්‌ වූ අතර හරිස්‌චන්ද්‍රතුමන්ගේ රුව දැකීම, හඬ ඇසීම පවා සුදු අධිරාජ්‍යවාදීන්ට කල් කදුරු මෙන් තිත්ත විය.

මෙහිදී 1903 දී අනුරාධපුරයේ බෞද්ධ නැගීසිටීමට සහ සිය අයිතිවාසිකම් රැකගැනීම සඳහා බෞද්ධයන් කළ අරගලයට මුල්වූයේ හරිස්‌චන්ද්‍ර තුමා යෑයි සුදු අධිරාජ්‍යවාදීන් චෝදනා කොට බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් සිරබාරයට ගන්නා ලදී. එහෙත් නඩු විභාගයේ එතුමන්ට එරෙහිව නගා තිබූ සියලු චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබීය.

හරිශ්චන්ද්‍ර තුමන් ලේඛන කලාවට උපන් හපන්කම් දැක්‌වූ අතර සිංහල, පාලි, සංස්‌කෘත සහ ඉංග්‍රීසි භාෂාව මනාව දැන සිටි උතුමෙකි. එවකට මුද්‍රණය වූ සිංහල බෞද්ධයා, මහා බෝධී, සිරි අනුරාධපුර යන පුවත්පත් සඟරා ආදිය සංස්‌කරණය කොට එළි දැක්‌වූයේ එතුමන් විසිනි. එතුමන් විසින් රචිත ග්‍රන්ථ අතර ලුම්බිණි ජය ශ්‍රී මහා බෝ මැඩ විස්‌තර, සිංහල ජාතියේ පටන් ගැනීම, දෙවන පෑතිස්‌ නරේන්ද්‍ර චරිතය, අනුරාධපුර චෛත්‍ය විස්‌තරය, අනුරාධපුර ශුද්ධනුවර විස්‌තරය, රුවන්වැලි චෛත්‍ය වර්ණනාව, ථූපාරාම චෛත්‍ය වර්ණාව, ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව, දුටුගැමුණු නරේන්ද්‍ර චරිතය, අනුරාධපුර පළාතේ විස්‌තර, සිතියම් සහිත පුරා විද්‍යාව සහ ඉංග්‍රීසි බසින් රචිත ඔයර Saජරුd Cසඑහ දෙ Aබමර්daචමර් යන ග්‍රන්ථ වේ. මෙම ග්‍රන්ථ හරිශ්චන්ද්‍රතුමන් විසින් 1900, 1912, 1908 යන වර්ෂවලදී ලේඛනගත කරන ලදී.

එතුමා කුඩා කල පටන් රෝ සතුරා නොසලකා වෙහෙස මහන්සි නොබලමින් රට, ජාතිය, බෞද්ධාගම වෙනුවෙන් පුරා 37 වසරක්‌ අනුපමේය සේවයක්‌ කළ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර අභීත සෙන්පතියන් 1913 සැප්තැම්බර් මස 13 වැනි දින සියලු සංස්‌කාර ධර්මයන් අනිත්‍ය බව බුදුරදුන් දෙසූ දහම සනාථ කරමින් සදහටම නෙත් පියා ගන්නා ලදී.

අමරණීය ජාති වීරවරයෙකු වූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්‌චන්ද්‍රතුමා අනුස්‌මරණය කිරීම සඳහා සංවිධාන හා ස්‌මාරක රැසක්‌ කොළඹ, මීගමුව සහ අනුරාධපුරය යන නගර මුල්කරගෙන බිහිවිය. මීගමුව මහ හුණුපිටියේ පිහිටි එතුමා බිහිවූ නිවස වලිසිංහ හරිස්‌චන්ද්‍ර කෞතුකාගාරය නමින් නම්කර එය ඓතිහාසික ස්‌ථානයක්‌ ලෙස ජාතික කෞතුකාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කරයි. වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමන්ගේ ප්‍රතිමා ශ්‍රී ලංකා මහා බෝධි සංගමය, එතුමන්ගේ උදාර නමින් පිහිටුවා ඇති මීගමුව සහ අනුරාධපුරය හරිස්‌චන්ද්‍ර විදුහල්වල දැකිය හැකිය.

(මෙම ලිපිය සැකසීමේදී ඒ සඳහා මා දිරිමත් කළ ඒ සඳහා අවශ්‍ය පොත පත ලබා දෙමින්, අනුශාසනා කළ මීගමුව අඟුරුකාරමුල්ල අභයසේඛරාරාමාධිපති පූජ්‍ය මීගමුවේ සුමේධ තිස්‌ස නාහිමිපාණන්ට කෘතඥතාව පුද කරමි. එතුමන්ට පිං.)

දිවයින මීගමුව ප්‍රාදේශීය මාධ්‍යවේදී සහ මීගමුව බෞද්ධ මන්දිරයේ හිටපු සභාපති විමල් කීර්ති

වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයට එදා රැගෙන ගිය අයුරු.

වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා එදා ජීවත් වූ

නිවස අද කෞතුකාගාරයකි.

 

http://www.divaina.com/2012/08/31/feature02.html

Advertisements