මෙවැනි බොරු කීම දෙවියන්ට අගෞරවයකි


මෙවැනි බොරු කීම දෙවියන්ට අගෞරවයකි
තොටගමුවේ රාහුල හිමි 15 වැනි ශත වර්ෂයේ ලක්‌දිව පහලව සිටි අගනා පඬිරුවනකි. උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර සකල කලා සර්වඥ, ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාමයන්ගෙන් පිදුම් ලදහ. රහල් හිමියන්ට ධර්ම ඥනයට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදිය සම්බන්ධයෙන්ද විශාල දැනුමක්‌ තිබිණ. උන්වහන්සේ විවිධ ඖෂධයන් පිළිබඳ හසළ දැනුමක්‌ තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ද විය. 6 වැනි පරාක්‍රමබාහු රජුගේ මුණුපුරා වූ ජයබාහු කුමරා රජවූ පසු සපුමල් කුමරු ඔහු ඝාතනය කොට රජවීමට තුන් වරක්‌ම උත්සාහ ගත්තද රාහුල හිමි එය වැළැක්‌වීය. නමුත් සිව්වන වතාවේදී සපුමල්, ජයබාහු මරා සය වැනි බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් ගමෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේගේ දකුණු බාහුවේ “සතුරු බුවනෙකබා බලය තෙවිටක්‌ පසුබා, රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගෙ ගජබා” යන කවි දෙකක්‌ කොටා තිබූ බව විශ්වාස කරයි. උන්වහන්සේ අම්බනදී අපවත් වීමට මොහොතකට කලින් ශරීරය දින ලක්‍ෂයක්‌ නරක්‌ නොවී තබා ගැනීම සඳහා “සුදු අලු රසය” නම් ඖෂධයක්‌ පානය කළ බවද සඳහන් වේ.

1505 දී පෘතුගීසීහු මෙරටට පැමිණි පසුව රජවරුන්ගේ අසමගිකම් ප්‍රයෝජනයට ගනිමින් ඉතා කෲර ලෙස ලක්‌දිව පාලනය කළහ. මේ අතරතුර අම්බන ප්‍රදේශයේ නරක්‌ නොවී තිබෙන දේහය දැක ගම්වාසීන්ගේ විරෝධය ද නොතකා එම දේහය දොඩන්දූව වරායෙන් ගෝවේට ගෙන ගිය බව පැවසෙන පැරැණි ජන කවි දෙකක්‌ද අදටත් එම ප්‍රදේශයේ ජනතාව අතර පවතී. පෘතුගීසීහු ගෝවේ තිබෙන මෙම දේහය ශාන්ත සේවියර්ගේ යෑයි කියමින් ගෞරව දක්‌වති.

සේවියර් පියතුමා යනු පාප් වහන්සේ විසින් 15 වන සියවසෙහි ඈත නැගෙනහිර ආගම පතුරුවා හැරීම සඳහා පත්කළ නියෝජිතයාය. ඔහු චීනයට යන අතරමගදී “සැන්ක්‌ෂන්” නම් දූපතේදී මියගිය බව පැවසේ. ඔහුගේ සිරුර එහි වළලා සති කිහිපයකට පසු මලක්‌කාවට ගෙන යැමට නැවත ගොඩ ගන්නා විට සිරුර නරක්‌ නොවී තිබෙනු දුටු බව කියති.

මෙම දේහය රහල් හිමිගේ යෑයි සිංහලයෝ පවසන අතර එය ශාන්ත සේවියර්ගේ යෑයි කිතුනුවෝ විශ්වාස කරති. මේ සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර තර්ක විතර්ක ගෙනහැර පාති. මේ සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහ යෙදී ඇත්තේ පනස්‌ වැනි දශකයේය. අද එම දේහයේ දකුණු අත නොමැත. එය රෝමයේ පාප් වහන්සේගේ ඉල්ලීමට කපා රෝමයට යෑවූ බව කිතුනුවෝ පවසන අතර එම අතෙහි පෙර කී කවි දෙක කොටා තිබූ බැවින් එය රාහුල හිමිගේය යන්න තහවුරු වන නිසා අත කපා දමා ඇති බව සිංහලයෝ කියති. මේ සම්බන්ධයෙන් පැරැණි පුවත්පත්වල පළවූ ලිපි කිහිපයක්‌ නැවත පෙන්වා දෙන අතර එම ලිපියේ ඉතිරි කොටස අද දැක්‌වේ.

මෙහි සඳහන් වන්නේ කුලතිලක මහතාගේ ලිපි පෙළෙහි අවසාන කොටසය. (බුද්ධ වර්ෂ 2496 බක්‌මස අව දොළොස්‌වක්‌ ශනි දින, සිංහල බෞද්ධයා පුවත්පත)

මෙම සිරුර දැන් දිරාපත් වන්නේ අව්, සුළංවලට මුහුණ දීමෙන් යෑයිද ඒ නිසා මෙම සිරුර වීදුරු පෙට්‌ටියක තබා ආරක්‍ෂා කරතැයි යන්න අපගේ කතෝලික මිත්‍රවරුන් පවසයි. සාවියර්තුමා මළ විගස දෙවියන් විසින් ඒ සිරුර තම බලයෙන් රක්‍ෂා කරමින් අව් සුළං ඊට වහ කදුරු වැනි අපත්‍ය අගුණ බව එසේ නම් නොකීවේ/ දැන ගැනීමට නොතිබ්බේ ඇයි? රෝගියකුට බෙහෙතක්‌ පොවා, ඇල් පැන් පානය කළහොත් ක්‌ෂණයකින් මියයන බව ඒ වෛද්‍යවරයා දැන දැනම ඒ බව රෝගියාටවත් ඔහුගේ හිතවතෙකුටවත් නොකියා සිට ඒ හේතුවෙන්ම රෝගියා නැසී ගියහොත් රෝගියාගේ මරණයට ඒ වෛද්‍යවරයා කතෘ නොවන්නේද? මේ වාගේ බොරු කාරණා කීමෙන් අප්‍රසාදයට පත්වන්නේ තමන්ගේම ආගමික ශාස්‌තෘවරයාණන් වහන්සේම නේද?

සීමා රහිත දෙවියෙක්‌ එසේම අසීමිත කාලයක්‌ නොදිරා දෙව් බල මහිම පෑමට සුරක්‍ෂිත කළැයි කියන ඔය සිරුර එතුමා විසින්ම මාවාලූ හුළං පොදක්‌ වැදීමෙන් අව් රශ්මියෙන්, දිරා පිච්චී ගියෑයි කීම නියම කතෝලික බැතිවරුන්ට නම් විහිළුවකි. විවෘතව තිබීමෙන් වායෝ, තෝජෝ, ධාතුද්වයේ ගුණ ගැන ඒ සිරුරට ස්‌පර්ශ වීම හේතුවෙන් දේව කැමැත්තක්‌/ අධිෂ්ඨානයක්‌ විනාශ වෙත්නම් ලෝකයේ ඇති ධාතුවල ලෝකය මැවූ සර්වබලකාරයාගේ සකල බලම මැඬලීමෙහි, අබලන් කිරීමෙහි, සමථි ඊට වඩා ශක්‌තියක්‌ එකී ධාතුබලවලට ඇති රඟ මොනවට ලොවට ප්‍රත්‍යක්‍ෂ නොවේද? දේවබල පරද්දා ලෝක ධාතු බල රජකරන බව එසේ නම් කතෝලික ධර්මධරයන් පිළිගන්නවාද? සියලු බල යුත් දෙව් කෙනෙකුට වුවමනා නම් ඔය සිරුරම මහා මඩ වගුරක ඔබා තිබූවත්, අග්නි ජාලාවකට මැදිකොට තිබූවත්, කෙසඟක පමණ වෙනසක්‌, විකෘතියක්‌ නොවන ලෙස පවත්නට සුරක්‍ෂිත කරලීම එතුමා හිතූ පමණින් කළ හැකිවන ඉතා සුළු වැඩක්‌ බව හිතා ගන්නටවත් බැරි මිනිස්‌සු බත් කන්නේ පුරුද්දට විය යුතුයි.

කිසිම දෙවියකුගේ සම්බන්ධයක්‌ නැතිව වර්ෂ හාර පන්සියයක්‌ නොව තිස්‌ ලක්‍ෂයක්‌ නොදිරා තිබී ගොඩගත් එක්‌ සත්ත්වයකුගේ සිරුරක්‌ ගැන “පිල්ඩැල්පියා, රැකෝඩ්” නම් පත්‍රයෙහි පුවතක්‌ අපි මෙහි දක්‌වන්නෙමු. මේ සත්ත්වයාගේ උස අඩි 18 කි. දත් 5000 කි. මේ සත්ත්ව සිරුර සොයාගෙන තිබෙන්නේ චාර්ල්ස්‌ එච්. ස්‌ටර්න් බර්ත් නම් පෘථිවි ගර්භාත්කරගත ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමෙහි නියුක්‌තව සිටි ශාස්‌ත්‍රඥ මහතා ඇතුළු පිරිසකටයි. ඇමරිකන් කෞතුකාගාරයේ මේ සිරුර අදටත් තිබේ. වර්ෂ 1909 දී එහි ප්‍රධාන ධුරය උසුලා සිටි ආචාර්ය ඔස්‌බෝර්න් මහතා මේ සත්වයා ගැන කියා ඇත්තේ 1909 දී පොළොවෙහි ගල් තට්‌ටුවක්‌ හාරාගෙන යන විට පාත්තයකුගේ හොටක ආකාර විශාල හොටක්‌ හා ඇත් බඳක්‌ තරම් මහා ශරීරයක්‌ ඇති සත්වයකුගේ මෘත ශරීරයක්‌ ඔවුන්ට සම්භ වූ බවත්, උගේ සම් මස්‌ නහර කිසිවක්‌ කුණු නොවී වියළී වැලි භූමියක මැරී අධික සූර්යතාපයෙන් කුණුනොව ඇට සම් මස්‌ නහර කිසිම දෙයක්‌ කුණු නොවී සුරක්‍ෂිතව තිබූ බවත්. මේ වර්ගයේ සත්ත්වයන් වාසය කොට තිබෙන්නේ නිව් ජර්සි, මිසිසිපි, ඇලඩාම්, යෝමං, මොංටැනා, ඩැකෝටස්‌ යන රටවල බවත්ය. කතෝලික මිතුරනි, මේ දැන් අපි ඔබ තුමන්ලාට පෙන්වා දුන් ප්‍රවෘත්තිය අනුව සර්වබල යුත් මහා දෙවියකු විසින් මිත්‍යාදෘෂ්ටීන්ගේ පවා ආත්ම නැලවිල්ල සඳහා ඉර හඳ පවත්නාතුරු මහා අපූරුවක්‌ ලෙස ලොව කොතැනකවත් නැති අරුම වස්‌තුවක්‌ ලෙස නොදිරා පවත්නට බොහෝ ඕනෑකමින් ආශිර්වාද කොට සුරක්‍ෂිත කරන ලද සාවියර් මුනිවරයාගේ ආත්ම කූඩාරම, විශේෂ උගත් පූජක කිහිප දෙනෙක්‌ විසින් රෑ දවල් දුක්‌ මහන්සි ගෙන හුලං නොවදින වීදුරු පෙට්‌ටියක ලා පාට ඇතිරිලි මතුයෙහි පරෙස්‌සමින් පොරවා රැකබලා ගෙන සිටලත් වර්ෂ හාරසීයක්‌ ඉක්‌මවන්නටත් පෙර එහි මස්‌ කොටස පිටිමෙන් දිරා ගිය මුත් පොළොවේ ඉතා ගැඹුරු පස්‌ යට මේ තිරිසන් සිරුර කිසි නිලධාරියකුගේ පිළිසරණ මාත්‍රයක්‌ නැතිව වර්ෂ තිස්‌ ලක්‍ෂයක්‌ ධාතු ගුණ සංසර්ගයෙන් පමණත් තවමත් මස්‌ පමණකුදු කුණු නොව තිබීම කතෝලිකයන්ගේ පමණක්‌ නොව ක්‍රිස්‌තියානි යෑයි කියන සෑම අයගේම මැවුම්කාරයාට පා පහරක්‌ දීමක්‌ මෙන් නින්දා ගෙනදෙන කාරණයක්‌ නොවේද? තවත් එම සත්වයාගේ මස්‌ කුණු නොවී පැවැත්මට විශේෂයෙන් හේතු වූ බව කියා ඇත්තේ ඔය දේව සුරක්‍ෂිත සිරුරට විෂ වූවා යෑයි කියන සූර්ය රශ්මි ස්‌වල්පයක්‌ නොව අධික සූර්ය තාපයලු. යුදෙව් හෙවත් ක්‍රිස්‌තියානි දෙවියන්ගේ දේව දුර්වලකමක තරම. ඔවුන්ගේම මහා විද්‍යාඥයෙකුගේම මේ ප්‍රකාශයෙන් ප්‍රත්‍යක්‍ෂ වන අයුරු පෙනේද?

එසේම බර්ලින් සමස්‌ත ශාස්‌ත්‍ර ශාලාව සම්බන්ධ ප්‍රථිවිගර්භ විද්‍යාලයේ ආචාර්ය හැන්ස්‌රෙක්‌ නම් ජර්මන් පඬිතුමාට ජර්මනියට අයත් නැගෙහිර අප්‍රිකාවේ උතුරු පෙදෙසෙහි පොළොව යට තිබී මනුෂ්‍ය ඇටසැකිල්ලක්‌ සම්බ වී තිබේ. එය අවුරුදු 150, 900 ක්‌ පරණ එකකැයි එතුමා පරීක්‍ෂා කර කියා තිබේ. මේ අය විලක ගිලී මළ බව අනුමාන කටයුතු බවත් මළකඳ වළ පතුලට වූවිට ක්‍රම ක්‍රමයෙන් වතුර සමඟ ආවැලි පස්‌ හා රට හුණුද ඒ මත වැටී ඉන් වැසී ගොස්‌ කල්යැමෙන් ඒ වැලි හුණු හයිවී ඒ මැද ඇටසැකිල්ල සුරක්‍ෂිතව තිබුණු බවත් සිතා තිබේ. මේ සිරුර ගැන තවත් සැලකිය යුත්තක්‌ නම් මොවුන් ජීවත්ව සිටි බව කියා ඇත්තේ වෙන මැවුම්කාරයකු මවා ඇති ලෝකයක බවයි. බයිබල් දෙවියා මේ ලෝකය මවා තිබෙන්නේ වර්ෂ හයදාහකට බොහෝ මෑතය. මොවුන් සිට ඇත්තේ වර්ෂ එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට පෙරය. එතෙක්‌ කල් පෘථිවි ගර්භයේ කිසිම බාහිර ආධාරයක්‌ නැතිව වැළලී පැවති මේ මිනිස්‌ ඇටසැකිල්ලෙහි ඇට කටු, දත් ඔය ශාස්‌ත්‍රඥ පූර්ණ ප්‍රසාදීවරු බොහෝ දෙනෙක්‌ දිවා රෑ ආරක්‍ෂා කළ සිරුරෙහි ඇට කටු තරම් තවම දිරා ගොස්‌ නැති බව පුදුමයකැයි නොසිතිය යුතුයි. මහා භූත ශක්‌තියෙන් හෙවත් ස්‌වභාව ධර්මය සංයෝගයේ බල මහිමයෙන්ම එලෙස ඒ සැම සිදුව ඇති බව දැනගැනීම යහපති.”

ඉහත සඳහන් වූයේ පේරාදෙණියේ සඳසිරියේ වැසි පුරාවෘත විශේෂඥ සී. පී. කුලතිලක මහතා විසින් 1952 දෙසැම්බර් මස 27 වැනි දින ගෝවේ මෘත දේහය කාගේද යන මැයෙන් ආරම්භ කරන ලද ලිපි පෙළක අවසාන කොටසයි. මෙම ලිපිවල සඳහන් කොටස්‌ ඔහුගේම වචනවලින් උපුටා දක්‌වන්නට සිතුවේ මීට දශක කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් දැක්‌වූ උනන්දුව සහ භාවිත කරන ලද වචනවල ස්‌වරූපය, එම ශෛලියද පෙන්වනු පිණිසය. ඔහු විසින් උත්සාහ කර ඇත්තේ කතෝලික බැතිමතුන්ගේ ආගමික සාස්‌තෘවරයාට හෝ මැවුම්කාර දෙවියන් වහන්සේට හෝ අපහාස කිරීමට නොව මෙම දේහය දෙවියන් විසින් සුරක්‍ෂිත කරන ලද එකකැයි යම් කෙනෙක්‌ කියන්නේ නම් ඔවුන් විසින්ම එම දෙවියන්ගේ බල මහිමය හෑල්ලුවට පත් කරන බැවින් එසේ කිරීමෙන් වළකින ලෙස කියාපෑමටය. දේහය දැන් දිරාපත් වෙමින් පවතින බැවින් බුද්ධ දර්ශනයෙහි සඳහන් වන සියලු දේ අනිත්‍යයි යන්න මෙයටත් බලපා ඇති බවත් දෙවියන් විසින් සුරක්‍ෂිත කොට ඇත්නම් එය සදාකාලික එකක්‌ වනු ඇති බවත්ය. එය සදාකාලිකව සුරක්‍ෂිත වී නොමැති නිසා එම දේහය දෙවියන් වහන්සේ විසින් ආරක්‍ෂා කළ එකක්‌ හෝ දේව බැල්මක්‌ නොලද එකක්‌ බවය. එසේ නම් එය සාන්ත සේවියර් පියතුමාගේ දේහය වීමට නොහැක. එය නම් බෙහෙත් බලයෙන් වසර ගණනාවක්‌ නරක්‌ නොවී තබාගත් රාහුල හිමියන්ගේම දේහය බවයි.

මේ සම්බන්ධයෙන් දේහය සේවියර් පියතුමාගේ හෝ රාහුල හිමියන්ද යන්න පිළිබඳව කරුණු බොහෝ ඉදිරිපත් කළෙමි. මෙම ලිපි පෙළෙහි අවසාන කොටස එන සතියේ පළවනු ඇත.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

 

Source: http://www.divaina.com/2016/06/05/feature03.html

 

Advertisements

1552 දී පෘතුගීසී කපුටන් විසින් කොල්ලකා දසවද දුන් අපේ බුදු පුතුන් ගේ ශ්‍රී දේහය

දේහයේ උස අඩුවීම ගැන කියන හේතු සාධාරණද?

7 වැනි කොටස

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පහළොස්‌ වැනි සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගන්‍ය පඬිරුවනක්‌ විය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳවද වෛද්‍ය විද්‍යාව පිළිබඳවද, නක්‍ෂත්‍රය පිළිබඳවද හසල දැනුමක්‌ තිබූ කෙනෙකි. සපුමල් කුමරු, විජයබාහු කුමරු මරා රජ වූ පසු උන්වහන්සේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය.

අපවත් වන මොහොතේ දේහය දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබා ගැනුමට “සිදු අලු රසය” නම් වූ බෙහෙතක්‌ පානය කළ බව ජනප්‍රවාදයේ ඇත. උන්වහන්සේගේ දකුණු අතෙහි කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි ගෝවේ තිබෙන දේහයෙහි දකුණු අත නොමැත. එය රාහුල හිමිගේ දේහය බව සනාථ වන බැවින් අත කපා ඉවත් කර ඇති බවට සැකකෙරේ. ශාන්ත සේවියර් යනු ස්‌පාඤ්ඤයේ ඉපිද නැගෙනහිර ආසියාවේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා පාප්වහන්සේ පත්කළ නියෝජිතයෙකි. එම පියතුමා චීනයට යන අතරතුර “සැන්ක්‌පන්” නම් දූපතෙහිදී මියගිය බව ද මලක්‌කාවට ගෙනයැමට පෙර එහි වළලා මාස කීපයකට පසුව ගොඩගන්නා විට දේහය නරක්‌ නොවී තිබුණු බව ද කිතුනු පොත පතෙහි සඳහන් වේ. තවද දේහයේ තිබෙන විවිධ තුවාල “සාධාරණීය” කිරීම සඳහා ඔවුන්ගේ වාර්තාවට දේහයට කෲර අන්දමින් සලකා ඇති බව ද සඳහන් වේ. මෙම සිරුරේ නියම තත්ත්වය පිළිබඳව නිල පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවන්වල විස්‌තරවලින් සිරුරේ දකුණු අත නොමැති බව සනාථ වී ඇත. අද එතැන් සිට….

කතෝලික බැතිමතුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවට ශාන්ත සේවියර් පියතුමා ජීවත්ව සිටින විට අඩි 5 1/2 ක්‌ එනම් මී. 1. සෙමී. 69 ක උසින් යුක්‌ත බැව් කියෑවේ. නමුත් සිරුරේ මිනුම් ගත් විට හිස කෙලින් තබා දිග මී. 1 සෙ. මී. 46 ක්‌වේ. ඔවුනට අනුව මළ සිරුරෙහි දිග අඩුවීම සාධාරණීය කර ඇත්තේ මෙසේය.

(අ) කලවා ඇටය සෙ. මී. 5 ක්‌ පමණ පහළට ඇදී යැම

(ආ) ශත වර්ෂ 4 ක්‌ තිස්‌සේ සිරුරේ වේලීම නිසා අස්‌ථි බන්ධනීන්ගේ සම්පීඩනය හේතුවෙන් සිරුර හැකිළීම.

(මෙම සාධාරණීයකරණය ඒ සම්බන්ධයෙන් වන වෛද්‍ය මතයට එකඟ නොවන බව සිංහලයෝ පවසති)

ඉහත සඳහන් කරුණු කතෝලිකයන් විසින් මෙම සිරුර ශාන්ත සේවියර්ගේ ය යන්න තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද ඒවාය. ඔවුන්ට අනුව ෆ්‍රැන්සිස්‌ සේවියර් පියතුමා දුප්පත්, අඩු පහසුකම් ඇති අයට, රෝගීනට, දුක්‌ පීඩා විඳින්නන්ට උපකාර කළ නිතර යාඥ කරමින් දෙවියන් වහන්සේට සමීපව ජීවත්වූ අයෙකි. එබැවින් එවන් උතුමෙකුගේ සිරුර සාමාන්‍ය කෙනකුගේ සිරුරකට ස්‌වාභාවිකව වන දේ නොවී දෙවියන්ගේ කැමැත්ත මත මෙලෙස නරක්‌ නොවී තිබුණු බවට ඔවුන් විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් පොත්පත් ගණනාවක්‌ද ලියා ඇත.

නමුත් ගෝවේ දැන් තබා තිබෙන, ශාන්ත සේවියර්ගේ යෑයි කියනු ලබන එම දේහය වෙන කාගේවත් නොව රහල් හිමියන්ගේ යෑයි සිංහලයෝ එදා සිට තරයේ විශ්වාස කරයි. එසේම එය සනාථ කිරීම සඳහා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරති. 20 වන ශත වර්ෂයේදී දේශීය බෞද්ධ ආයතන ගෝවේ බලධාරීන්ගෙන් මෙම දේහය තම රටට ලබා දෙන මෙන් ඉල්ලා ලිපි පවා යවා ඇත. එවකට පැවැති “සිංහල බෞද්ධයා” නම් පුවත්පතෙහිද (1953 දෙසැ( 27) මෙම දේහය රාහුල හිමියන්ගේ බැව් සනාථ කරන කරුණු දක්‌වා ඇත.

සිංහලයන් විසින් තම තර්කය, එනම් මෙම දේහය ශාන්ත සේවියර්ගේ නොව රාහුල හිමිගේම යෑයි යන තර්කය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කරුණුවලින් සමහරක්‌ මෙසේ ය.

(අ) යුරෝපීය ජාතිකයන් තම හිසබූගෑමේ පිළිවෙතක්‌ කිසි කලෙක අනුගමනය කොට නැත. විශේෂයෙන් එලෙස එය වහල් බවේ සංකේතයක්‌ සේ සැලකූ බැවිනි. ශාන්ත සේවියර් ජීවත්වූ කාලයේ ස්‌පාඤ්ඤ හා අනෙක්‌ යුරෝපීය කතෝලික පූජකවරුන් තම හිසකෙස්‌ සහ රැවුල දීර්ඝ ලෙස වැවීම පුරුද්දක්‌ කොට තිබුණි. වර්තමානයේදී වුවද රෝමානු කතෝලික ස්‌පාඤ්ඤ පූජකවරුන් කොණ්‌ඩය බූ ගාන්නේ නැත. නමුත් මෙම දේහයේ හිසෙහි කෙස්‌ ඇත්තේ සම්පූර්ණයෙන් බූ ගෑ පසු දින 2 කට හෝ පසුව මතුවන ප්‍රමාණයක පමණි. රැවුලද එසේමය. නමුත් ඇහි බැමෙහි සම්පූර්ණයෙන්ම කෙස්‌ වැවී ඇත. එසේ නම් ඇහි බැමිවල සම්පූර්ණයෙන් කෙස්‌ තිබීමටද, හිසෙහි කෙස්‌ නොතිබීමටද හේතුව කුමක්‌ විය හැකිද? එකම හේතු වනම් මියගිය තැනැත්තා නිතිපතා කොණ්‌ඩය සහ රැවුල බෑමට පුරුදුවී සිටි අයෙකු වීමයි. සේවියර් පියතුමා එසේ නොකළ බව කව්රුත් දනී.

(ආ) පැරැණි යුරෝපීය සංස්‌කෘතියෙහි මිනිසුන්ගේ නොව ගැහැනුන්ගේ ද කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ නොවිනි, රහල් හිමි කල ආභරණ පැළඳීම සඳහා “ක්‍ෂත්‍රීය” පුද්ගලයන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ පැවතුණි. එසේම උපසම්පදා උත්සවයේදී භික්‍ෂුන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ වූ බැව්ද ඉතිහාසය සාක්‍ෂි දරයි. එසේ නම් මෙම දේහය සේවියර් පූජකතුමාගේ නම් එහි කන් සිදුරු වූයේ කෙසේ ද?

(ඇ) සේවියර්තුමා ස්‌පාඤ්ඤ ජාතිකයෙක්‌ වූ අතර යුරෝපීයයන් අතරේÊවුවද ස්‌පාඤ්ඤ ජාතිකයෝ බෙහෙවින් සුදු හමකට (වර්ණයකට) හිමිකම් කියති. නමුත් මෙම දේහයේ වර්ණය තළඑලළු හෙයින් එය ආසියානු ජාතිකයෙකුගේ මිස කිසිසේත්ම යුරෝපීය ජාතිකයෙකුගේ විය නොහැක.

(ඈ) මෙම දේහයේ ඇස්‌ නිල්පාට නමුදු ස්‌පාඤ්ඤ ජාතිකයනට සාමාන්‍යයෙන් තිබෙන්නේ දුඹුරුපාට බළල් ඇස්‌ය.

(ඉ) දේහයේ දකුණු අත නොමැත. වාර්තාගත වන අන්දමට වර්ෂ 1614 නොවැ. 3 වන දින පෝල් පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි එම දකුණු අත කොටස්‌ 3 කට කපා එක්‌ කොටසක්‌ මැකාවෝ විදුහලටද අනෙක්‌ කොටස මලක්‌කාවටද, ඉතිරි කොටස රෝමයටද යවා ඇත. කතෝලිකයන් අතිශය ලෙස ගෞරව කරන, එවන් වූ වටිනා වස්‌තුවක්‌ මෙවන් වූ කෲර ඉරණමකට භාජන කරත් දැයි සිතිය හැකිද? පෝල් පාප් වහන්සේ එවන් ඉල්ලීමක්‌ සත්‍ය වශයෙන්ම ඉදිරිපත් කොට තිබුණේ නම්, සම්පූර්ණ අතක්‌ වෙනුවට කුඩා ඇඟිල්ලක්‌ කපා යෑවීමට නොහැකි වූයේ මන්ද? නො එසේ නම් එම “අත” කපා ඉවත් කළේ එවන් වූ ඉල්ලීමකට වඩා එම අතෙහිවූ තමන් නොකැමති යම් කිසි “ලකුණක්‌” තිබූ නිසාද? පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි කොටසක්‌ රෝමයට යෑව්වා නම් ඉතිරි කොටස්‌ අනෙක්‌ පෙදෙස්‌වලට යෑව්වේ කාගේ ඉල්ලීම පරිදි ද?

(සිංහලයන් විශ්වාස කරනුයේ රහල් හිමිගේ දකුණු අතෙහි තමන් හඳුනා ගැනීම සඳහා “සතුරු බුවනෙකබා බලය තෙව්ටක්‌ පසුබා රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගේ ගජබා යන කවියද “සවර” ලද මුල් කඳ” යන කවියද කොටා තිබූ බව සහ මෙම අත සිරුරෙන් ඉවත් කර ඇත්තේ එම දේහය සේවියර් පියතුමාගේ නොවේය යන්න ඉන් තහවුරු වන නිසාය).

(ඊ) රෝමානු කතෝලික පූජකවරු සාමාන්‍යයෙන් “ඔඩිසන්” නමැති ක්‍රියාවලිය අතරතුර තම හිස වටේට කවාකාරව “බොන්සෝර්” නමින් හඳුන්වන කෙස්‌ සිඳීම කරන අතර තමා මිය යනතුරුම එසේ තබා ගනිති. මෙම සිරුරේ එබඳු දෙයක්‌ නොමැත.

(එ) වාර්තාවලට අනුව ශාන්ත සේවියර්තුමා වර්ෂ 1507 අප්‍රේල් මස 7 වැනි දින උපත ලබා 1552 දී මිය යන විට වයස අවුරුදු 46 කි. නමුත් මෙම දේහය එවන් තරුණ දේහයක්‌ නොව ඉතා වයස සුදුකෙස්‌ නෙරා ඇති ආසියානු ජාතිකයකුගේ බව පෙන්නුම් කරයි.

(ඒ) ශාන්ත සේවියර්තුමාගේ උස අඟල් 66 කි. සාමාන්‍යයෙන් කෙනෙක්‌ මියගිය විට සිරුර අඟල් 1-2 කින් පමණ දික්‌වේ. එවිට සේවියර්ගේ දේහයේ දිග අඟල් 67 1/2 ක්‌ වත් විය යුතුය. නමුත් මෙම දේහයේ දිග අඟල් 60 ක්‌ පමණ වේ. එබැවින් අනිවාර්යයෙන්ම මෙය සේවියර්ගේ විය නොහැක.

(ඒ) මරණ පරීක්‍ෂක වාර්තාවනට අනුව දේහයේ මරණීය තුවාල ඇති බැව් වෛද්‍යවරු සහතික කරති. සේවියර්තුමා ඉතා ශාන්ත ගුණයන්ගෙන් හෙබි අතර අවසාන කාලයේ ඔහුව බලා ගැනීම සඳහා ඔහුගේ මිතුරන් ද විය. එසේනම් ඔහුගේ දේහයේ මරණීය තුවාල ඇති වීමට හේතුව කුමක්‌ද? (ජනප්‍රවාදයට අනුව 1552 දී පෘතුගීසීන් අම්බන ගුහාවේ සිට දේහය පැහැරගෙන යෑමට සැරසෙන විට ගම්වාසීන් එයට විරුද්ධව සටන් කර ඇත. එම ප්‍රදේශය අදටත් “ඇවිලුම” ලෙස හඳුන්වයි. සිරුරට තුවාල වී ඇත්තේ මෙම අවස්‌ථාවේය යන්න සිහලුන්ගේ විශ්වාසයයි.

(තවත් කරුණු ලබන සතියේ)

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර